Sunday, 26 September 2021
යුදහමුදාවට වයස 67යි : මෙතැනින් කොතැනටද?

යුදහමුදාවට වයස 67යි : මෙතැනින් කොතැනටද?

රටේ ආගම හා සමාන තත්වයක් රණවිරුවන් කෙරෙහි නිර්මාණය වනවිට එය තම පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා අවභාවිතය කිරීම පසුගිය ආණ්ඩුව විසින් සිදුකළ මූලික කාරණා වලින් එකකි. එය මනාව හඳුනා ගැනීමට හැකි වූ අදාළ ආයතනවල සේවය කළ තැන-දුටු තැන වල ඉහගන්නා අයවලුන්, තමන් සිහිනෙන්වත් නොපැතූ නිලතල, බලය මෙන්ම ධනය උපයා ගැනීමට සමත්වූහ. එල්. ටී. ටී. ඊ. සංවිධනය සතුවූ ධනය සහ අවි ආයුධ සම්බන්ධයෙන් පැහැදිළි සහ විනිවිදභාවයෙන් යුතු විඝණනයක් සිදු නොකිරීම මෙන්ම යුද්ධයෙන් පසු ඉතුරු වූ අවශේෂ වලින් තම පුද්ගලික ආශාවන් සංතෘප්ත කරගැනීම හැරෙන්නට රාජ්‍යයේ කල්පැවැත්ම වෙනුවෙන් කටයුතු කළේ ඉතාම සීමිත පිරිසකි. එසේම, එල්. ටී. ටී. ඊ. සංවිධානය සතු අධි සුඛෝපභෝගී වාහානවල කොටස් ගලවා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට රැගෙනවිත් වාහන විකුණන ව්‍යාපාර ආරම්භ කළ නිලධාරීන් ගැනද සඳහන් වේ.

මෙම ලිපිය සත්හඬ පුවත්පතේ ඔක්තෝම්බර් 09 වන දින කලාපයේ පළමුවෙන් මුද්‍රණය විය

නිලන්ත ඉලංගමුව

ව්‍යාජ දේශප්‍රේමය නමැති කල්දේරමට වැටුණු ජාතික ආරක්‍ෂාවේ මූලධර්ම සහ ඉන් වාෂ්පවන විෂ සහිත දේශපාලන කල්ලිවාදී ගුණ්ඩු හමුවේ අකුරු මැකී කොළ ගැලවෙන රණවිරු ලේබලය ගැන විමසීම වැදගත් කාරණයක් වන්නේ මේ මාසයේ ( ඔක්තොම්බර්) 10 වන දිනට ශ්‍රී ලංකා යුදහමුදාව තම 67වන උපන්දිනය සැමරීමට සූදානම් හෙයිනි. ගෙවී ගිය වසර 67තුළ සිදු වූ දෑ මෙන්ම රට තුළ ඇති වූ ප්‍රභල සන්නද්ධ ව්‍යාපාර දෙකක් මුළුමනින්ම අතුගා දැමීමට “සමත්” වූ රාජ්‍යය යාන්ත්‍රණය තුළ යුදහමුදාව ඉටු කළ සේවය සැබවින්ම විමර්ශනය කළ යුතු වැදගත් කාරණයකි. කලාපයේ අනෙකුත් හමුදා වලට සාපේක්ෂව රාජ්‍යය පරිපාලන ව්‍යුහයට පක්ෂපාතීව කටයුතු ( 1962 හැර) කළ මෙම රාජ්‍යය ආයතනය සිදු කළ දේශපාලන මැදිහත්වීම විමසා බැලීමේ මූලික ප්‍රවේශයක් ලෙස පහත සඳහන් අදහස උපුටා දැක්වීම වැදගත් වේ.

ඒ 1948 පෙබරවාරී මාසයේ 04 වැනිදිනය. පෙරදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැවති පරිපාලනය සහ උදෑසන උදාවත්ම රට හමුවේ නිල වශයෙන් දිවුරුම් දුන් නව පරිපාලනය දැක සතුටු වූ මහජනතාව, පැරණි යුගයේ අවසානය සහ නැවුම් යුගයක ආරම්භය ගැන චිත්තරූප මැවූහ. රටට නිදහස ලබා දෙමින් හයවන ජෝර්ජ් රජතුමා, මෙසේ පැවසුවේය.

“සිලෝන් හී වෙසෙන මගේ මිනිසුන්, නිදහස් මිනිසුන් ලෙස එකතු වී කටයුතු කොට සෑම දෙනාම හමුවේ ඇති වගකීම අවසානය දක්වා අකුරටම ඉටු කරනු ඇතැයි මම දන්නෙමි. මෙම ශ්‍රේෂ්ඨ දිනයේ මගේ යහපත් ආශිර්වාදය ඔබලාට ලැබෙන අතර සාමය සහ සමෘද්ධිය එහි උපරිමයෙන් ලැබීම සඳහා මම සිලෝන් රටට යාඥා කරන්නෙමි. ඉදිරි වසර කිහිපය පුරාම රටට දෙවියන්ගේ පිහිට සහ උන් වහන්සේගේ මගපෙන්වීම ලැබේවා”.

ජෝර්ජ් රජුගේ නියෝගයෙන් නිමා කළ පාලනයෙන් පසු රට හමුවේ පැවති දේශපාලන අභියෝග සම්බන්ධයෙන් වාර්තා වූ සාහිත්‍යය තුළ සමගිය වෙනුවට අසමගිය, සමෘද්ධිය වෙනුවට හිඟමන, සතුට වෙනුවට අසතුට, ආරක්ෂාව වෙනුවට අනාරක්ෂාව, නීතිය වෙනුවට අවනීතිය; රටට උරුම වූ මූලික සමාජ යතාර්ථයන් වූ අතර, සමාජය අතර පුළුල් බෙදීමක් සිදු වූ ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ඒ සඳහා විවිධ හේතු බලපෑවේය. වසර තිහකට වඩා වැඩි කාලයක් තිස්සේ තිබු යුද්ධය සමාජ අවභාවිතයේ සහ මර්ධනයේ නිෂ්පාදනයක් විය. ගෙවී ගිය කාලය දෙස ආපසු හැරී බැලීමේදී, පෙනී යන්නේ ඉතිහාස සිදුවීම් වලින් ඉගෙන ගැනීමට අප දරන උත්සාහයන් විවිධ හේතු නිසා මග හැරීමයි.

ජෝර්ජ් රජ්ජුරුවන්ගේ පළාත් නවය සහ යුක්තියේ මූලධර්ම

මෙහි නවතම කාරණය වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා යාපනයේදී, ජෝර්ජ් රජ්ජුරුවන් ලංකාව පළාත් නවයකට බෙදූ හැටි කියූ අදහසය. සිංහල සමාජයට ආකර්ෂණීය අදහසක් වූ එමඟින් චිත්‍රණය කරන දේශපාලනයක් තිබේ. ගැටුමක් ඇතිවීම වළක්වාලීම සහ ගැටුම් වලට හේතු වූ මූලික සමාජ කාරණා විසඳීම, රාජ්‍යය සම්පත් මෙහෙයවීම සඳහා බලය ඇති අයවලුන්ගේ මූලික වගකීම වේ.

බොහොමයක් කරුණු සහ සිදුවීම් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ, ජෝර්ජ් රජ්ජුරුවන් මෙරට පළාත් නවයකට බෙදා, එක් රටක් ලෙස නව පරිපාලන ක්‍රමවේදයක් ඔස්සේ ගොඩ නොනැගුවේ නම් වත්මන් තත්වය ඉතා භයානක මෙන්ම ව්‍යාකූල විය හැකිව තිබුණු බවයි. ගැටලුව ඇත්තේ බෙදීම නොව, විවිධත්වය තුළ අනෙකාට ගරු කිරීමට සහ අනෙකාගේ අයිතීන් වලට සැලකීමට දැක් වූ අකමැත්ත සහ යටපත්කරන පරිපාලන රටාවකට එරෙහිව පෙන් වූ විරෝධයේදී භාවිතා කළ දුර්වල ක්‍රමෝපායන් තුළ චිත්‍රණය වූ මුරණ්ඩුකමය.

දේශපාලන වේදිකාවල සඳහන් වන අදහස්වලට වඩා රටේ පරිපාලන ක්‍රමවේදය රටේ ජනතාවට මෙන්ම පිටත ලෝකයට ලබාදී ඇති අනුවෙදනීය ආදර්ශයේ ඇත්ත තත්වය එයයි. එමඟින්, විනිවිදභාවය වෙනුවට, එළිපිටම හොරකම් කිරීම; ජනතාවට සහන සේවය සැලසීම වෙනුවට, විදෙස් ණය ඔස්සේ ලැබෙන මූල්‍ය සම්පත් වංචා කිරීම; ආදී බොහෝ අයහපත් දෑ හේතුවෙන් අවසානයේ ලැබුණු අස්වැන්න වූයේ දිරාගිය සමාජ ක්‍රමයක් සහ එම දිරාගිය සමාජ ක්‍රමය එලෙසම නඩත්තු කිරීම සඳහා ශූක්ෂමව එකිනෙකට සම්බන්ධ වූ ජාලයක් නිර්මාණය වීමය. ඊට එරෙහිව සිදු කළ විරෝධය විවිධ හැඩයන් ගෙන ඛේදවාචකයකයක් පසු කොට ඇත.

සමාජීය ගැටලු වලට මර්ධනය කිරීමෙන් පිළිතුරු නොලැබේ. සමාජ විරෝධය සඳහා පසුබිම් වූ හේතු හඳුනා ගැනීම, ඒවා විශ්ලේෂණය කිරීම සහ ඒවාට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යය වේ. පළාත් නවයකට බෙදීම හෝ ඉන් පළාත් දෙකක් එකතු කිරීම ආදී භූගෝලීය කාරණා වලට වඩා වැදගත් වන්නේ රෝග කාරක හඳුනා ගැනීමේ සහ ඒවා විසඳීම සඳහා අවංකව කැපවීමයි. ලේ වලින් ලියනු ලැබූ සත්‍යය, තීන්ත වලින් ලියනු ලැබූ අසත්‍යයෙන් මැකිය නොහැකිය. චීනයේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යවේදියා ලූ ෂුන් තේරුම් කළ මූලික කාරණය එයයි.

මෙහිදී වැදගත්වන මූලික කාරණය වන්නේ රාජ්‍යය සංස්ථා කළමණාකරණයේදී අනුගමනය කළ යුතු මූලික මූලධර්ම අනුගමනය කිරීමය. රාජ්‍යය සංස්ථා වල කොඳු නාරටිය එම රාජ්‍යය සතුව පවතින යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයයි. එය මූලික පිළිගත් මූලධර්ම මත පිහිටා නිර්මාණය කිරීම, එම මූලධර්ම නිවැරදිව භාවිතා කරන්නේද යන්න ස්වාධීන විඝණනයකට ලක් කිරීම, මූලික මූලධර්ම අපහරණ කරන්නන්ට එරෙහිව නීති ප්‍රකාරව දඬුවම් කිරීම, ඉතාම වැදගත් වේ. නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන යැයි සඳහන් වන වඩාත් වැදගත් සහ ප්‍රභල කාරණය තුළ ඇති ව්‍යුහය එයයි. නීතියේ ආධිපත්‍යය ලෙස හැඳින්වෙන්නේ මෙයයි. මෙම කාරණය රටක ජීවත් වන සෑම පුද්ගලයෙකුම දැන ගත යුතු මූලධර්මයකි.

ඒ සඳහා, එංගලන්තයේ ජීවත් වූ කීර්තිමත් නීති විශාරදයෙකු මෙන්ම අගවිනිසුරුවරයෙකු වූ ටොම් බින්(ග් )හම් සාමිවරයා නීතියේ ආධිපත්‍යය රටක මහජනතාවට සුභසිද්ධිය උදා කිරීමට නම් ප්‍රධාන මූලධර්ම අටක් සැපිරිය යුතුබව සඳහන් කරන්නේය. මෙම කාරණය සඳහා අවශ්‍යය මනෝමූලික දැනුම එහි ස්ථානගත වී ඇතැයි සිතේ.

හැකිතාක් දුරට තේරුම් ගැනීම, පැහැදිලි කරගැනීම, සහ අනාවැකි කීමට හැකි පරිදි නීතිය පරිශීලනය කිරීමට හැකිවිය යුතුය.

නීතිමය අයිතිය සහ වගකීම පිළිබඳ ගැටලු අභිමතයට අනුව නොව නීති මූලධර්ම ප්‍රකාරව විසඳිය යුතුය.

කිසිඳු වෙන්කිරීමකින් තොරව නීතිය සෑම දෙනෙකුටම එක හා සමානව ක්‍රියාත්මක කළයුතු වේ.

මූලික මානව අයිතිවාසිකම් ආරක්‍ෂාවීම සඳහා නීතිය ප්‍රමාණවත් විය යුතුය. ( නීතියේ මූලධර්ම ගැන මුල්ම අදහස් ඉදිරිපත් කළ ඩයිසි මෙම මූලික කාරණය සටහන් කොට නොතිබුණි.)

මිලාධික වියදමක් නොමැතිව සහ සීමාරහිත ප්‍රමාදයකින් තොරව විසඳුම් ක්‍රමවේදයක් ඉදිරිපත් කළ යුතුය.

ඇමතිවරුන් මෙන්ම රාජ්‍යය සේවකයන්ට පවරා දී ඇති බලය ශ්‍රද්ධාවෙන් හේතුවාදිව අපහරණයකින් සහ/හෝ අතික්‍රමණයකින් තොරව භාවිතා කළ යුතුය. ( අධිකරණ සමාලෝචනය – ජුඩිසියල් රිවීව්)

රාජ්‍යය විසින් සපයන විනිශ්චය කිරීමේ ක්‍රියාපටිපාටීන් අපක්ෂපාතී විය යුතුය. නීතියේ ආධිපත්‍යයට අවශ්‍යය වන්නේ එයයි.

ප්‍රඥප්තීන් හෝ ජාත්‍යන්තර රීතීන් ඇතුළු ජාත්‍යන්තර නීත්‍යානුකූල රාමුවට බැඳී සිටින අදාළ පරිපාලන රාජ්‍යය නීතියේ ආධිපත්‍යයට යටත් විය වීම අනිවාර්යය.

මෙම මූලික කාරණා අනුව යමින් පසුගියදා මෙරට දැඩිලෙස කතාබහට ලක් වූ කාරණයක් ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ. එනම්, ඇවන්ට් ගාට් නමැති සමාගමට එරෙහිව රජය විසින් ගොනු කොට තිබු අධිචෝදනා මත පැවැත් වූ නඩු විභාගයය වේ. මෙය, මෙරට ඉතිහාසයේ ඉතාම වැදගත් සිදුවීමක් වන අතර, රටේ නීතිය, එහි මූලික මූලධර්ම කෙතරම් දුරට අවංකව අනුගමනය කරන්නේද යන්න රටට පමණක් නොව ලෝකයටම සඳහන් කිරීම සඳහා හේතුවන සිදුවීමකි.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් කාරණය වූයේ, අදාළ සැකකාර චූදිතයින් හයදෙනාගෙන් පස්දෙනෙකු තම රණවිරු පදක්කම් පැළඳ උසාවිය ඉදිරියේ පෙනී සිටීමයි. එය බොහෝ දෙනෙකුගේ දැඩි දෝෂ දර්ශණයට ලක් වූ සිදුවීමක් විය.

බොහෝ දෙනෙකුට එහිදී මෙම චූදිතයින් සියල්ල සිදු කළ මගෝඩි දේශපාලනය නිරීක්ෂණය කළ හැකි විය.තවත් එක් වැදගත් කාරණයක් වූයේ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනාගෙන් එක් අයෙකු එනම් විශ්‍රාමික අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා මාධ්‍ය වාර්තා තුළ අතුරුදන් වීමය. ඒ වෙනුවට විත්ති පාර්ශවයේ එක් විත්ති කරුවෙකුට ඇප බැඳීමට පැමිණි ඔහුගේ සොයුරාගේ සේයාරුව විත්ති පාර්ශවයේ සැකකරුවෙකු ලෙස ප්‍රසිද්ධ විය. හිටපු නාවික හමුදාපතිවරයාට සිදු වූ දෙය තවමත් “අභිරහසකි”. ඒ වෙනුවෙන් ඔහුගෙන් හෝ වෙනත් පාර්ශවයකින් කිසිඳු පැහැදිලි කිරීමක් ගැන තවමත් අසන්නට නැත.

බලය අපහරණය කළ රණවිරු පදක්කම් ලාභීන්

ශ්‍රී ලංකා යුදහමුදාව තම 67වන උපනදිනය සමරණ මේ මොහොතේ සිදු වී ඇති ඛේදජනක තත්ත්වය මෙම සිදුවීම මූලික කරගෙන පැහැදිලි කර ගත හැකි යැයි සිතේ. රාජ්‍යය සංස්ථාවක් ලෙස එහි කළමනාකරණයේ සිදු වී ඇති බරපතළ කඩා වැටීම, සහ ඒ තුළට දේශපාලනය විෂක් ලෙස එන්නත් වී ඇති ආකාරය මෙම සිදුවීමෙන් මනාව පෙනේ.

රණවිරු පදක්කම් සහ තම සේවා ශ්‍රේණිය විශ්‍රාම ගිය පසු පැළඳීම ඉතාම වගකීමෙන් සහ පරෙස්සමින් සිදු කරන කටයුත්තකි. මන්ද, සේවයේදී පදක්කමක් ලබා ගැනීම යනු ඉතාම අසීරු සහ මහත් කැපකිරීමෙන් කළ යුතු කාරණයක් බව බොහෝ දෙනෙකු දන්නා හෙයිනි. නමුත්, මෙම විත්තිකරුවන් තම රණවීරත්වය ගැන මුහුණු පොතේ විශාල ප්‍රචාරණ ව්‍යාපෘතියක් සිදු කොට, තම පදක්කම් පැළඳ උසාවියට පැමිණීමෙන් පරවී ගිය දේශපාලනයට යළි පණක් දීමට උත්සහ කරනු ලැබීය. මෙම උපාය තවත් වසර හතරකින් සම්පූර්ණයෙන්ම පාහේ අවලංගු වනු ඇත.

මෙහි ඇති වඩාත් හාස්‍යජනක කාරණය වන්නේ, ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාට උසාවීයෑම සඳහා මතක් වූ පදක්කම් පැළඳීමට 2009 මැයි මාසයේදී අමතක වීමය. එනම්, ප්‍රභාකරන්ගේ මළකඳ හමු වී රටේ යුද ජයග්‍රහණය මූලික කරගමිනින් ආරම්භ වූ සැණකෙළියට පෙර අරලියගහ මන්දීරයේදී යුද්ධය අවසන් කළ බව ජනාධිපතිවරයාට දැනුම්දෙනු ලැබූ අවස්ථාව බොහෝ දෙනකුගේ සිහියේ ඇත. එය රටේ සෑම මාධ්‍යයකින්ම සජීවීව විකාශනය කරනු ලැබීය. එම කාලයේදී ප්‍රභල කාර්යයක් සිදුකරනු ලැබූ රාජපක්ෂ මහතා තම පදක්කම් පැළඳීම අමතක කළේය. නමුත්, ඔහු විත්තිකරුවෙකු ලෙස උසාවි ගෙනෙන විට පදක්කම් පැළඳුවේය. එසේම, ඔහුගේ ආලවන්ත මිතුරන්වීම නිසාම තම ක්ෂේත්‍රයේ ඉහළට යෑමට හැකි වූ ඔහු වටා සිටින අනෙකුත් ආරක්‍ෂක නිලධාරීන්ද උසාවී පැමිණියේ පදක්කම් පැළඳගෙනය. නමුත්, ඔවුහු සියලු දෙනාම වගඋත්තරකරුවන් වී සිටින අදාළ සමාගමේ ප්‍රධානියා, විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ලෙස රටට කළ සේවය ගැන රටේ ජනතාවට සහ උසාවියේ විනිසුරුවරුන්ට දැනුම් දීම සඳහා පදක්කම් පැළඳුවේ නැත. මෙහි ඇති නොගැලපීම එයයි.

මෙම කාරණයේ ඇති නොගැලපීම සහ රටේ “රණවිරුවන්” නමැති ලේබලය තම දේශපාලන අවශ්‍යයතා සඳහා ඉතාම අප්‍රසන්න ලෙස යොදා ගැනීම මඟින් සිදුවන්නේ කුමක්ද? එය 1971 නැගෙනහිර පකිස්ථානය කඩා බංගලාදේශය තැනීමෙන් වසර 45ට පසු බංගලදේශයේ දැක ගත හැකි තත්වයෙන් ඉගෙන ගත හැකි පාඩම හා සම්බන්ධ කළ හැකිය. ජනතාවගේ විශාල බලපෑම මත අදාළ “විමුක්ති සටන” අවභාවිතා කරමින්, ස්ත්‍රීන් ලිංගිකව අපහරණය කිරීම, නිරායුධ සිවිල් වැසියන් ඝාතනය, සහ යුද අපරාධ කිරීම ඇතුළු චෝදනා මත බොහොමයක් “විමුක්තිවාදීන්” දඬුවම් වලට මුහුණ දෙමින් සිටිති. ස්වභාවික නීතිය ක්‍රියාත්මක වන්නේ එලෙසය.

රටේ ආගම හා සමාන තත්වයක් රණවිරුවන් කෙරෙහි නිර්මාණය වනවිට එය තම පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා අවභාවිතය කිරීම පසුගිය ආණ්ඩුව විසින් සිදුකළ මූලික කාරණා වලින් එකකි. එය මනාව හඳුනා ගැනීමට හැකි වූ අදාළ ආයතනවල සේවය කළ තැන-දුටු තැන වල ඉහගන්නා අයවලුන්, තමන් සිහිනෙන්වත් නොපැතූ නිලතල, බලය මෙන්ම ධනය උපයා ගැනීමට සමත්වූහ. එල්. ටී. ටී. ඊ. සංවිධනය සතුවූ ධනය සහ අවි ආයුධ සම්බන්ධයෙන් පැහැදිළි සහ විනිවිදභාවයෙන් යුතු විඝණනයක් සිදු නොකිරීම මෙන්ම යුද්ධයෙන් පසු ඉතුරු වූ අවශේෂ වලින් තම පුද්ගලික ආශාවන් සංතෘප්ත කරගැනීම හැරෙන්නට රාජ්‍යයේ කල්පැවැත්ම වෙනුවෙන් කටයුතු කළේ ඉතාම සීමිත පිරිසකි. එසේම, එල්. ටී. ටී. ඊ. සංවිධානය සතු අධි සුඛෝපභෝගී වාහානවල කොටස් ගලවා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට රැගෙනවිත් වාහන විකුණන ව්‍යාපාර ආරම්භ කළ නිලධාරීන් ගැනද සඳහන් වේ.

නමුත් තම ආයතන පරිපාලනමය වශයෙන් පිළිගත් මූලධර්ම මත පිහිටා මෙහෙයවීමට මෙම සංස්ථා සහ ආයතන වල සිටි ඇතැම් නිලධාරීන් මීට පෙර කටයුතු කළ ආකාරය ඉතිහාසය විසින් ඔප්පු කොට තිබේ. එසේම ඔවුහු අතින් යම් කිසි නොහොඹිනා කටයුත්තක් සිදු වූ විට, තම ආයතනයේ ගරුත්වය රැකෙන පරිදි කටයුතු කළ අවස්ථා ගැන වාර්තා වී තිබේ.

මෙහිදී සිහිපත් කළ යුතු වඩාත් වැදගත් උදහාරණයක් වන්නේ, රියර් අද්මිරාල් ජෙරාඩ් රොයිස් මැක්ස්වෙල් ද මැල් මහතාගේ සිදුවීමයි. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ( එකල රාජකීය සිලෝන් නාවික හමුදාව) සිව්වන නාවික හමුදාපතිවරයාය. ඔහු, එක්තරා සිදුවීමක් නිසා අත්අඩංගුවට පත්වේ. එහි ප්‍රතිඵලය ලෙස, හිටපු විදේශ අමාත්‍යය ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාගේ වැඩිමහල් සහෝදරයා, රියර් අදමිරල් රාජන් කදිරගාමර් නාවික හමුදාපති ධූරයට පත් වේ. එහිදී රියර් අද්මිරාල් මැල් අනුගමනය කළ ක්‍රියාමාර්ගය ආදර්ශ සම්පන්න වූවා පමණක් නොව, ඔහු නිසා නාවික හමුදාවට කැළලක් ඇති නොවීමට ඔහු සෑම විටම වගබලා ගත්තේය. අදාළ සිදුවීමෙන් පසු අසනීප තත්වයට ප්‍රතිකාර ලබා ගැනීමට පවා ඔහු ගියේ පෞද්ගලික රෝහලකටය.

උඩුගම සහ ඩෙනිස් යුගයන්

එසේම, ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ මේජර් ජනරාල් රිචර්ඩ් උඩුගම මහතා, 1966 මෙරට සිදුවූයේ යැයි කියන නානකාමරේ කුමන්ත්‍රණයට හෙවත් වැසිකිළි කුමන්ත්‍රණයට විත්තිකරු කරමින් අත්අඩංගුවට පත්වේ. ඉන් පසු හෙතම කටයුතු කරනු ලැබුවේ තම ආයතනයට කිසිඳු කැළලක් සිදු නොවන පරිදිය. අනේ මම රණවිරුවෙක්… මේ මගේ පදක්කම්… ඒ නිසා මොන වැරැද්ද කළත් දඬුවම් කිරීම වැරදි.. යැයි කියමින් සහ තමන්ගේ හිතවත් මාධ්‍යයට මෙන්ම මිතුරන්ට සහ ආවතේවකරුවන්ට පවසමින් නීතියේ මූලධර්ම වලින් පිට පැනීමට උත්සහ කළේ නැත. එවැනි මිනිසුන් සිටින රාජ්‍යය සංස්ථා ගෞරවාදරයට පාත්‍ර වේ. ගෙවෙමින් පවතින වසර කිහිපය එනම් 2020 දක්වා වූ කාල වකවානුව තුළ වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුත්තේ එවැනි තත්වයක් ඇති කොට රටේ පවතින “අරාජික” තත්වය යහමගට ගැනීම සඳහාය. එවැනි යහපත් කටයුතු, විවිධ දේශපාලන සහ පෞද්ගලික ගනුදෙනු කරමින්, නීතියේ සහ රටේ ජනතාවගේ අපේක්ෂාවන් හෑල්ලුවට ලක් කිරීමෙන් කළ නොහැකිය.

ශ්‍රී ලංකා යුදහමුදාව තම වසර 67ක කාලය තුළ ගිය ගමන් මග ඉතාම අනුවේදනීය තත්වයට ඇද දමනු ලැබුවේ මූලික පරිපාලන මූලධර්ම වලින් ඉවත් වීම හේතුවෙනි. තම ආයතනය දියුණු කිරීම සඳහා මහත් පරිශ්‍රමයකින් කටයුතු කරනු ලැබූ ලුතිනන් ජනරාල් දේශමාන්‍ය ජෝශප් ඩෙනිස් පෙරේරා මහතා සිදු කළ පරිපාලනමය වෙනස්කම් ආදිය යළිත් ක්‍රියාවේ නැංවීම අත්‍යවශ්‍යය වේ. ඔහුගේ ජන්ම දිනයද ඔක්තෝම්බර් 10 වැනි දිනට යේදී තිබේ. විශේෂයෙන් ඔහු විසින් පිහිටුවනු ලැබූ, යුද හමුදා විමර්ශන කමිටුව වැනි යහපත් දෑ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම ඉතාම වැදගත් වේ. එසේම තම ආයතනයතුළදීම, වාචික, ශාරීරික මෙන්ම ලිංගිකව හිංසනයට ලක්වන සෙබළුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම ආදී කටයුතු යළි පණ ගැන්වීම ඉතාම වැදගත් වේ.

අයිතිකරුවන් මුලාවේ හෙළා වලව් තම අයිතියට පවරා ගැනීම; ආයතනයේ සුභ සිද්ධියට වියදම් කිරීම සඳහා අවශ්‍යය මුදල් දේශපාලන ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යෙදීම; ආයතනයේ දියුණුව සඳහා ලැබෙන කොන්ත්‍රාත්තු වලින් ගසාකෑම; පකිස්තානය වැනි තානාපති කාර්යාලවල සේවය කරන ආරක්ෂක කටයුතු භාර ප්‍රධානින් බීමතින් එරට ඉගෙන ගන්නා තම සගයින්ගේ නිවාස වලට ගොස් හැකි උපරිමයෙන් කුණුහරප සංග්‍රහ කිරීම; ආදී බොහෝ අපවිත්‍ර සහ අප්‍රසන්න දෑ ක්‍රමවත් පරිපාලන රටාවකට හුරු කිරීමෙන් වැළක්විය හැකිය. එවිට, තම පටු දේශපාලන අරමුණු දිනා ගැනීම සඳහා පදක්කම් පළඳින මහත්වරුන් මකා දමන ගරුත්වය යළි ලැබෙනු ඇත.

වත්මන් හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා මහත් පරිශ්‍රමයක් දරමින් ආයතනයේ පරිපාලන රටාව යහමගට ගැනීමට උත්සහ කිරීම වැදගත් කාරණයකි. එසේම, ඔහුට කාලානුරූපියව ලැබුණු සේවා දිගුව ඉතාම යහපත් තීරණයකි. එමඟින්, ක්‍රමයෙන් මෝදු වෙමින් පැවති බරපතළ පරිපාලනමය ව්‍යාකූලබව සහ බලඅරගලය විසඳීම සඳහා අවස්ථාවක් ලැබුණි. මේ හා සමාන තත්වයක්, ශ්‍රී ලංකා නාවික හමුදාව තුළද සිදු කිරීමට අවශ්‍යය පාරිසරික තත්වය නිර්මාණය වෙමින් තිබේ. මන්ද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සිදුකළ සහ සිදුකරණ මෙහෙය සැබවින්ම ආදර්ශ සම්පන්න බැවිනි.

ශ්‍රී ලංකා යුදහමුදාව තම 67 වන උපන්දිනය සමරන්නේ සැබවින්ම අප්‍රසන්න කාලවකවනුවකින් පසුය. ආයතනය පුරා කාලාන්තරයක් තිස්සේ වපුරනු ලැබූ සැකයේ බීජ තවමත් මුළුමනින්ම ඉවත් වී නැත. එබැවින්, සැබෑ අභියෝග ජයගැනීම සඳහා අවශ්‍යය පාරිසරික තත්වය නිර්මාණ වූ පසු ඉන් ප්‍රයෝජනය ගෙන තම ආයතන වල ගෞරවය රැකීම සැබෑ වීරයින්ගේ යුතුකම වේ.

මේ සතියේ තීරුව අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු ලේඛකයා සමග තම ආයතනයේ 67වන උපන්දිනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් කිහිපයක් උපුටා දැක්වීම වැදගත් යැයි සිතේ.

“වසර ගණනාවක් ගෙවී ගොස් ඇත. ආයතනයට බැඳුනු සියලුම දෙනා ඔවුන්ට හැකි උපරිමයෙන් සේවය කළා, අනෙකුත් ආයතන මෙන්ම යුද හමුදාව තුළත් අඩුපාඩු, මෙන්ම පරිපාලනමය වශයෙන් දුර්වලතා තිබුණු බව සියල්ලෝම දන්නා කාරණයක්. නමුත්, කුමන තත්වය යටතේ වුණත් රටවල් හතළිහකට ආසන්න ප්‍රමාණයක් තහනම් කොට දරුණුතම උපායන් භාවිතා කරන්නේ යැයි ලෝකයම පිළිගත් ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීමට අපි සමත් වුණා. අපේ අරමුණ රටේ සහ ජීවත්වන සෑම පුද්ගලයෙකුගේම ආරක්ෂාව සහතික කිරීමයි. ඒ වෙනුවෙන් අපි වගකීමට බැඳී සිටිනවා.”

“වර්තමානයේ අපේ ප්‍රමුඛ අරමුණු තමයි; පුහුණු කිරීම් දිගටම කරගෙන යෑම, පරිපාලනමය මූලධර්ම අනුගමනය කරමින් ආයතනයේ පරිපාලනය යහමගට ගැනීම සහ ජාත්‍යන්තර වශයෙන් ආයතනයේ නම තවදුරටත් ශක්තිමත් වන ආකාරයෙන් කටයුතු කිරීම. මෙහිදී මතක් කළ යුතු අනෙක් කාරණය තමයි, පැවති යුද්ධයෙදී සතුරු පාර්ශවය ඉලක්ක කිරීම සටනකදී සිදුවන මූලික කාරණයක්. එවැනි දෑ වලදී වාර්තා වූ සිදුවීම් වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම කෙතරම් සදාරණද, සදාචරද කියන එක ගැටලුවක්. එසේම, අධිකරණ ක්‍රියාමාර්ගයකින් වැරදි කරුවෙකු කරන තෙක් ඕනෑම පුද්ගලයෙක් නිවැරදිකරුවෙක්. ඒක තමයි මූලික නීතිය.”

වසර 67කින් පසු ශ්‍රී ලංකා යුදහමුදාව මුහුණ දී සිටින අභියෝගවල මතුපිට තලය මෙම අදහස්වලින් මනාව පිළිබිඹු වේ.

www.slguardian.org