Sunday, 26 September 2021
'මට විශ්වාසයක් නැහැ, නමුත් බලාපොරොත්තුවක් තියෙනවා' - ආචාර්ය සරවනමුත්තු

'මට විශ්වාසයක් නැහැ, නමුත් බලාපොරොත්තුවක් තියෙනවා' - ආචාර්ය සරවනමුත්තු

ආණ්ඩුවේ ජාතික සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය යටතේ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පිහිටුවන ලද්දේ 2016 ජනවාරි මාසයේදී ය. 'සත්‍යය හා යුක්තිය සෙවීම සඳහාත්, මානව අයිතීන් උල්ලංඝණය සම්බන්ධයෙන් වගවීම සහතික වීම හා සහන සැළසීම සඳහාත්' එය පිහිටවුන ලද බව ආණ්ඩුවේ නිල නිවේදනයේ දැක් වේ. එම බලකාය යටතේ දිවයිනේ පළාත් නවය ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති කලාපීය කාර්ය සාධක බලකායන් විසින් උතුරේ අවසාන මිනිස් ඝාතක බිම් ආශ්‍රිතව දිවි ගෙවන යුද පීඩිත ජනයාගේ අදහස් විමසීම ආරම්භ කරන ලද්දේ එයින් හය මසක් ඇවෑමෙන් ජූලි මාසයේදී ය. මාසයක් ඇතුළත ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ පළමු අතුරු වාර්තාව ද අගෝස්තු 08 වැනිදා දා දාතමින් යුතුව නිකුත් කරනු ලැබිණ. නමුත් වින්දිතයන්ගේ අදහස් සළකා බැලීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශය පිහිටුවීමේ පනත 11 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ලද්දේ යුද පීඩිත ජනයාගේ අදහස් විමසීමේ වැදගත්කම නොතකා හරිමිනි. අගෝස්තු 30 වැනිදා ට යෙදී තිබූ අතුරුදහන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනයේ උතුරු සහ නැගෙනහිර දෙමළ ජනයා යුක්තිය ඉල්ලා යළිත් වීදි බැස්සේ ඒ පසුබිම යටතේ ය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. 'සංක්‍රාන්තික යුක්තිය සඳහා ආයතන හා ක්‍රියාවලි පිළිබඳ පාර්ශවකරුවන්ගේ මත තහවුරු කිරීම මඟින් එහි සැලැස්ම සඳහා මග පෙන්වීම" අරමුණු කරගත් බව ප්‍රකාශිත කාර්ය සාධක බලකාය ඇත්තෙන්ම වින්දිත ජනයාගේ දුක් ගැනවිලි හා අපේක්‍ෂාවන්ට අර්ථාන්විත ඉඩක් සපයනු වස් පිහිටුවන ලද්දක්ද? නැතහොත් හුදෙක් නාමික සංහිඳියාවක් මවා පෙන්වනු වස් ඇටවූ ඇස් බැන්දුමක්ද?

ආචාර්ය සරවනමුත්තු සමග ජේඩීඑස් කළ සංවාදයට පිටුබල සපයන ලද්දේ එම ගැටළු විසිනි.

සටහන: කිත්සිරිි විජේසිංහ

සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය නමින් ආයතනයක් ශ්‍රි ලංකා ආණ්ඩුව මේ වන විට ස්ථාපිත කොට තිබෙනවා. ඒ යටතේම ඇති ''සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ'' ලේකම්වරයා ලෙස කටයුතු කරනුයේ ඔබයි. මෙවැනි කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ අරමුණ සහ එයට පැවරී ඇති බලතල පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

පාක්‍යසෝති සරවනමුත්තු: මේ යාන්ත්‍රණයේ ඉතා වැදගත්ම කොටස තමයි අතුරුදහන්වූවන් පිළිබඳ තොරතුරු සොයා බලන්න පිහිටුවා තිබෙන කාර්යාංශය. මේක පිහිටුවලා තියෙන්නේ පාර්ලිමේන්තු පනතක් හරහායි. පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳව ලංකාවට තියෙන ඉතිහාසය එච්චර යහපත් එකක් නෙමෙයිනේ. ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්. අවුරුදු 20 ක් 25 තිස්සේ විතරඉඳලා අතුරුදහන්වුවන් පිළිබඳව සිද්ධි වාර්තා ‍වෙනවා.හැබැයි ඒ සිද්ධි ගැන කිසිම අවස්ථාවක හරියාකාරව අපි හොයලා බලලා නෑ. ඒ නිසයි මම කිවුවෙ මේ කාර්යාලය ඉතාම වැදගත් එකක් කියලා.

එ් වගේම තමයි අතුරුදහන්වුණු තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන හරි, සහෝදරයා ගැන හරි, එහෙමත් නැත්නම් ඥාතියා ගැන හරි යමෙකුට තොරතුරු තියෙනවා නම් ඒ පුද්ගලයාට පුලුවන් තමන් ලඟ ඒ තියෙන තොරතුරු මේ කාර්යාලයට ඉදිරිපත් කරන්න. මෙයින් බලාපොරොත්තු වෙන්නේ සත්‍ය සොයන එක. යම් පුද්ගලයෙක් අතුරුදහන් වුණාම ඒ පුද්ගලයාට සිදුවුණේ මොකද්ද කියලා දැන ගන්න එක පවුලේ සාමාජිකයන්ට තියෙන අයිතියක්.

හැබැයි මේ අතුරුදහන්වුවන් පිළිබඳව හොයන කාර්යාලයේ අරමුණ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නඩු දාන එකවත්, විමර්ශනය කරන එකවත් නෙමෙයි. එහෙම නඩු දාන්න පුලුවන් කමක් නෑ. මෙහි ඉන්න සමාජිකයන් සත් දෙනාම ලැබෙන තොරතුරු පිළිබඳව සෑහීමකට පත් වෙනවා නම් ඔවුන් කරන්නේ අදාළ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට, පොලිසියට එහෙම නැත්නම් අගවිනිසුරුවරයට යොමු කරලා මෙතන අපරාධයක් වෙලා තියෙනවා, ඒ නිසා කරුණාකරලා වැඩිදුරු තොරතුරු හොයලා බලලා නඩු පවරන්න කියලා කියන එක. ඒක තමයි මේ අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලයේ මූලික අරමුණ.

මීට අමතරව දැන් තව කාර්යාලයක් තියෙනවා, ඒක තමයි සංහිඳියාව ගැන එහෙම නැත්නම් සත්‍ය පිළිබඳව තොරතුරු හොයන එක. මම හිතන්නේ මේකත් ඉතාම වැදගත් එකක්. ආණ්ඩුවට අවශ්‍යයි සිදුවුණු හානි පිළිබඳව සොයන්න. ඒක කරන්න බෑ වගවීම ගැන පැහැදිලි එකඟතාවයක් නැත්නම්. දැන් අලුත් උසාවියක් ගැන හැමෝම කතා කරනවානේ. ඒ ගැන ලොකු විවාදයක් රටේ තියෙනවා. සමහරු කියනවා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවරු ගේන්න යනවා කියලා. ඒ ගැන ලොකු විවේචනයක් තියෙනවනේ. හැබැයි 2015 දි ජිනීවා මානව හිමිකම් සැසිවාරයකදි ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වුණා ස්වාධීන අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවනවා කියලා.

ඔබ සඳහන් කළා පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳව සොයා බැලුවත් ඒ සම්බන්ධව අධිකරණ ක්‍රියාදාමයකට යොමු වීමේ සෘජු බලයක් අදාළ කාර්යාංශයට නොලැබෙන බව. එසේම ලැබෙන තොරතුරු නීතිපති දෙපාර්ත්මේන්තුව හෝ පොලිසිය වැනි අනෙකුත් රාජ්‍ය ආයතනයන් වෙත ලබා දෙමින් නඩු පවරන ලෙස ඉල්ලා සිටිය යුතු බවද ඔබ සඳහන් කළා. මූලික විමර්ශන බලයකින් හෝ නඩු පැවරුම් බලයකින් තොරව හුදෙක් ඉල්ලීමක් ලෙස පමණක් කිරීමට බලාපොරොත්තුවන මෙවන් ක්‍රියාදාමයකින් වින්දිතයන්ට හෝ පැමිණිලිකරුවන්ට සිදුවන යහපත කුමක්ද?

සරවනමුත්තු: ඇත්තෙන්ම මේක කරනකම් මට කිසිම විශ්වාසයක් නෑ. හැබැයි බලාපොරොත්තුවක් තියෙනවා. විශ්වාසයක් ගොඩ නැගෙන්න නම් සිවිල් සමාජයෙන් ලොකු බලපෑමක් ආණ්ඩුව වෙත එල්ල කරන්න ඕනේ. අතුරුදහන්වුවන් පිළිබඳ කාර්යාලයට තියෙන වගකීම තමයි ලැබෙන තොරතුරු නිසි පරිදි අදාළ ආයතනවලට යොමු කරන එක සහ නඩු පැවරීම් පිළිබඳව ඉල්ලීම් කරන එක. සිවිල් සමාජයේ වගකීම තමයි ආණ්ඩුවට නිරන්තරයෙන්ම බලපෑම් එල්ල කරන එක. මම ආයෙත් කියනවා මේ කාර්යාලයේ වගකීම ලැබෙන සිද්ධි සම්බන්ධව විමර්ශන හෝ පරික්ෂණ කරන එක නෙමෙයි. මේක තොරතුරු රැස් කරන නිත්‍ය කාර්යාලයක් විතරයි. හැබැයි හැම කෙනෙකුටම අවශ්‍යයි අතුරුදහන්වුණ තමන්ගේ ඥාතියාට මොකද වුණේ කියලා දැන ගන්න.

සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සභාපතිනිය ලෙස කටයුතු කරන මනෝරි මුත්තේට්ටුවේගම මහත්මිය මීට කලින් සමාජිකත්වය දැරූ, චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය විසින් පත්කරන ලද පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳ කොමිසම් කිහිපයක්ම සිය අතුරු සහ අවසන් වාර්තාවන් මගින් පෙන්වා දෙනු ලැබුවේ, එකල පුද්ගල අතුරුදහන්වීම සහ ඝාතනයන් සම්බන්ධව එම කොමිසම්වලට පැමිණිලි ඉදිරිපත් කරන ලද පැමිණිලිකරුවන් විසින් හඳුනාගත් ඉහළ පෙළේ හමුදා නිලධාරින්ට සහ දේශපාලඥයන්ට විරුද්ධව නෛතික කටයුතු සිදුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ විමර්ශන එකකයන් අසමත් වු බවයි. මේ ක්‍රියාවලිය ගැන ඔබට ඇත්තේද අවිශ්වාසය මුසු වු බලාපොරොත්තුවක් බව ඔබ කියා සිටියා. එසේනම් මේ සිදුවන්නේ පැරණි පුරුදු රැවටීම වෙනත් අකාරයකින් ක්‍රියාවට නැංවීමක් නොවෙයිද?

සරවනමුත්තු: මෙයට කළින් ඇති කරපු කොමිසම්වලින් දුන්න කිසිම නිර්දේශයක් ක්‍රියාත්මක කළේ නැති බවත් ඇත්ත. නමුත් පළවෙනි වතාවට අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් කාර්යාලයක් පිහිටුවලා තියෙනවා. ඒක අමතක කරන්න හොඳ නෑ. මගේ ළඟ නම් බලාපොරොත්තුවක් තියෙනවා. කාර්යාලයේ වැඩ පටන් අරන් සිදුවීම් එකක්, දෙකක් හරියට කරන කොට මිනිස්සු තොරතුරු ලබා දේවි කියලා මම හිතනවා. කාර්යාලයේ අය නැත්නම් මේවා ගැන වැඩ කරන අය තොරතුරු දෙන අයට විශ්වාසයක් ගොඩ නගන්න ඕනේ කියලයි මගේ කල්පනාව. නමුත් එක සිදුවීමකට අවුරුදු ගානක් ගන්නවානම් කිසිම කෙනෙකුට විශ්වාසයක් ඇති වෙන එකක් නෑ.

හැබැයි මම නැවතත් කියන්නේ මට තියෙන්නේ බලාපොරොත්තුවක්. පළමුවෙන්ම සමාජිකයන් 7 දෙනෙක් පත් කරන්න ඕනේ. ඒ අයව පත් කරන්නේ ව්‍යවස්ථා සභාවෙන්. ඒ පත් කරන අය හොඳ විශ්වාසනීයත්වයක් ඇති කර ගන්න පුලුවන් අය වෙන්න ඕනේ. පරීක්‍ෂණ තුනක්, හතරක් හරියට කරන කොට මිනිස්සු දැන ගනීවි මේක බොරුවක් නෙමෙයි කියලා. මොකද මෙයට කලින් තිබුණු තත්ත්වය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තිවෙන්නේ වෙනත් දේශපාලන වටපිටාවක්.

ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය අගෝස්තු 08 වැනිදා නිකුත් කළ අතුරු වාර්තාවේ සඳහන් වෙනවා මහජන ප්‍රවිචාරණ (Public Consultation) ක්‍රියාවලිය අවසන් වෙන්න පෙර අතුරුදහන්වුවන් පිළිබඳ විමර්ශන කාර්යාලය පිළිබඳ පනත (OMP) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නම්, එයට පෙර සහ පසු ඒ ගැන මත ඉදිරිපත් කිරීමට යම් කාලයක් ලබා දිය යුතු බවට. නමුත් ඔබලාගේ අතුරු වාර්තාව නිකුත් කරන්න පෙර පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා විතරක් නොවෙයි, අගෝස්තු 11 වැනිදා වන විට නීතියක් බවටත් සම්මත කරගෙන අවසන්. යුද්ධයෙන් විපතට පත් අය ඇතුළු පාර්ශවයන්ට මේ කියන OMP පනත ගැන තියෙන ගැටළු දැනටමත් ප්‍රකාශ කොට තිබුණත්, ඒ කිසිම අදහසක් මේ පනතට දැන් ඇතුල් කොට ගත නොහැකියි නේද?

සරවනමුත්තු: පළමුවෙනි කාරණාව තමයි ආණ්ඩුව මේ අතුරුදහන්වුවන් පිළිබඳ පනත ජිනීවා මානව හිමිකම් සැසිවාරයට කළින් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කළේ අපි මේක කළාය කියලා පෙන්නන්න. ආණ්ඩුව අපෙන් විමසුවා අපි මෙහෙම දෙයක් කරන්න යනවා ඔයාලා ළඟ මොනවද තියෙන්නේ කියලා. හැබැයි ඒ අවස්ථාවේදි අපි ආණ්ඩුවට කිවුවා 'අපි මෙහෙම දේකට කැමති වෙන්නේ නෑ, මේ ක්‍රියාමාර්ගය අපි ප්‍රතික්‍ෂේප කරනවා' කියලා. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා 'කරුණා කරලා මෙවැනි දෙයක් කරන්න කලින් සිවිල් සමාජයත් එක්ක කතා කරන්න, අදහස් විමසන්න' යනුවෙන්. එවිට ආණ්ඩුව අපිට කිවුවේ 'අපිට ඒ දේ කරන්න බෑ. ඔබලා කැඳවන්න' කියලායි. එක් රැස්වීමකදි මිනිස්සු විවිධ යෝජනා ඉදිරිපත් කළා. එහෙම ඉදිරිපත් කරපු සමහර ඒවා පනතේ තිබුණා. තව සමහර ඒවා පනතේ තිබුනේ නෑ. ඒ වගේම තමයි ආණ්ඩුව සමහර ඒවා පිළිගත්තා, තවත් සමහර යෝජනා පිළිගැනීම ප්‍රතික්‍ෂේප කළා. පසුව එහෙම දේවල් එකතු කරන්න පුලුවන් කියන එකයි ආණ්ඩුවේ තර්කය වුණේ.

කොහොම උනත් මේ පනත සම්බන්ධව විවාදයක් තිබුනේ නැහැනේ. මොකද ඒකාබද්ධ විපක්ෂය මේ පනතට විරෝධය දක්වලා බාධා කළානේ. කොහොම උනත් දැන් පනත් සම්මතවෙලා ඉවරයි. ආණ්ඩුවට අවංක උවමනාවක් තියෙනවා නම් හරියට වැඩ කරලා පැමිණිලිකරුවන්ගේ විශ්වාසය දිනා ගන්න පුලුවන්. අපි ඉතා පැහැදිලිව ආණ්ඩුවට කියලා තියෙනවා මේ යාන්ත්‍රණය පිහිටුවීම පමණක් ප්‍රමාණවත් නෑ, බෑ ඊ ළඟට කරන්න තියෙන දේත් හරියට කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අපි කිසිම සහයක් දෙන්නේ නෑ කියන එකත් අපි කියලා තියෙනවා. අපේ අවසාන වාර්තාව දෙනකන් පනත පාර්ලීමේන්තුවට ඉදිරිපත් නොකර ඉන්න, එහෙම නැත්නම් මේ කරන්නේ බොරුවක් කියලත් අපි ආණ්ඩුවට කිවුවා.

ඔබ කියන අකාරයට අනුව ඔබ අයත් කමිටුවේ මතය නොතකා හරිමිනුයි රජය කටයුතු කරලා තියෙන්නේ. පුද්ගල අතුරුදහන්වීම පිළිබඳව හඳුනාගනු ලබන පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයකට යොමු වීමේ සැළසුමකුත් නොමැතිනම් හුදෙක් තොරතුරු රැස් කිරීමට පමණක් සීමා පනවමින් මේ සිදුකරන්නේ ජිනිවා මානව හිමිකම් කමිටුව හමුවේ දුන් පොරොන්දුවක් ඉටු කිරිමට කුමක් හෝ කළ යුතු නිසා කරන වැඩ පිළිවෙලක් නේද?

සරවනමුත්තු: මම දන්න විදිහට නම් ආණ්ඩුව මෙච්චර ඉක්මනට මේක කෙරුවේ ඒ නිසා තමයි.ආණ්ඩුවට කියන්න පුලුවන් අපි යාන්ත්‍රණ 4 ක් පොරොන්දු වුණා.දැන් පනතක් ඉදිරිපත් කරලා තියෙනවා ඉතිරි ඒවත් ඉක්මනටම කරනවාය කියලා.එහෙම නොකළත් ඇත්ත තත්ත්වය ඒක තමයි.අපි ඉතාම පැහැදිලිව කියලා තියෙන්නේ අනෙක් යාන්ත්‍රණ 3 ඉදිරිපත් කරන්න කළින් අපේ වාර්තාව පිළිගන්න ඕනේ බව.නැත්නම් අපි අපේ විරෝධය දක්වන බව ආණ්ඩුවේ බලධාරින් හමුවේ පැහැදිලිවම කියා තියෙනවා.

ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය නිල වශයෙන් පත් කළේ 2016 ජනවාරි මාසයේදි යි. නමුත් කලාපීය කාර්ය සාධක බලකායන් (Zonal Task Force) පිහිටුවලා මුලිතිවු සහ කිලිනොච්චි ප්‍රදේශවල මහජන මත විමසීම් ආරම්භ කරනු ලැබුවේ ජූලී මාසයේදි. ඒ විමසීම්වලට ලබා දී තිබූ කාලය මාසයකට ආසන්න ඉතාම කෙටි කාලයක්. ඊ ළඟට ඔබලාගේ අතුරු වාර්තාව නිකුත් කළේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශය පිළිබඳ පනත බලාත්මකද කරන්න දින කිහිපයකට පෙරයි. කලාපීය කාර්ය සාධක බලකායේ විමර්ශන ප්‍රමාණවත් තරමින් කල් තබා ආරම්භ කොට, කාර්ය සාධක බලකායේ අතුරු වර්තාව කලින් සුදානම් කර නිකුත් කරනු ලැබුවේ නම් ඔබලාගේ නිර්දේශ සැළකිල්ලට ගන්න ආණ්ඩුවට සිදුවෙනවා නොවේද? ඒ සම්බන්ධයෙන් කාර්ය සාධක බලකායට එල්ල වන විවේචන ගැන ඔබට ඇති පිළිතුර කුමක්ද?

සරවනමුත්තු: මේ කාර්ය සාධක බලකායේ සමාජිකයන් 11 දෙනෙක් ඉන්නවා. ඒ හැරුනාම උතුරු නැගෙනහිර, උතුරු මැද සහ දිස්ත්‍රික් මට්ටමෙන් කලාප කාර්ය සාධක බලකා කියලත් පිහිටුවලා තියෙනවා. අනෙක් පළාත්වල පළාත් මට්ටමින් තමයි මේ කලාප කාර්ය සාධක බලකා කාර්යාල පිහිටුවලා තියෙන්නේ. ඒගොල්ලෝ සමග පොදු සාකච්ඡා කිහිපයක්ම අපි පැවැත්වුවා. එයට අමතරව හඳුනාගත් විවිධ කණ්ඩායම්, පාර්ශවයන් එක්කත් සාකච්ඡා කරන්න පුලුවන් වුණා. උදාහරණයක් හැටියට කියනවා නම් කාන්තා කණ්ඩායම් එක්ක, අතුරුදහන්වුවන්ගේ ඥාතීන් එක්ක කරපු සාකච්ඡාවලදි විවිධ අදහස් යෝජනා ලබා ගන්න අපිට හැකි වුණා. හැබැයි මේ කිසිම එකක් සංවිධානය කලේ රජය නෙමෙයි. කාර්ය සාධක බලකාය තමයි මාධ්‍ය දැන්වීම් පල කරලා මිනිසුන්ව දැනුවත් කෙරුවේ. එහෙම කරලයි අපි ඒ ඒ කණ්ඩායම් - පුද්ගලයන්ව සාකච්ඡාවලට කැඳවා ගත්තේ. කැමති කෙනෙකුට පුලුවන් තමන්ගේ අදහස් හරි යෝජනා හරි ලිඛිතව දැනුම් දෙන්නත්.

ජාතික මට්ටමෙන් අපිත් හමුදාව හා පොලිසියත් එක්කත්, කලාකරුවන් සහ අතුරුදහන්වුවන්ගේ ඥාතීන් වැනි විශේෂ කණ්ඩායම් සමගත් කතා කෙරුවා. ආණ්ඩුව අපිට කිසිම අවස්ථාවක කියලා නෑ 'අර පුදගලයා එක්ක මේ පුද්ගලයා එක්ක කතා කරන්න, අරයව හමුවෙන්න - මෙයාව හමුවෙන්න' කියලා.

රජය සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු කරන්න ක්‍රියාකාරි කමිටුවක් පත් කරලා තියෙනවනේ. දැන් ඒ ගොල්ලෝ තමයි පනත හැදුවේ. අපි ඔවුන් එක්ක කතා කළා. මට මතක හැටියට එක සාකච්ඡාවකට විදේශ කටයුතු ඇමතිතුමත්, සංහිඳියාව පිළිබඳ ලේකම් කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ලත් ඒ සාකච්ඡාවට සහභාගි වුණා. අපිව පත්කරලා තියෙන්නේ අගමැති කාර්යාලයෙන්. මේ හැම කෙනෙක් එක්කම මුලින් කතා කරලා තමයි අපි සැළසුම් සකස් කෙරුවේ.

කාර්ය සාධක බලකයට ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන් භාර ගැනීම සහ ප්‍රතික්‍ෂේප කිරිම සම්බන්ධයෙන් යොදාගත් නිර්ණායකයන් මොනවාද? ඔබලාගේ අතුරු වාර්තාවට අනුව ලිඛිත ප්‍රකාශයන් 291 ක් තෝරාගත් බව සඳහන් කර තිබෙනවා. ඒවා තෝරා ගත්තේ කුමන නිර්ණායකයන් යටතේද?

සරවනමුත්තු: සංහිඳියාව පිළිබඳ ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ මේ සම්බන්ධව එක් පිටුවක තොරතුරු සදහන් වෙනවා. අපේ මැන්ඩේට් එක ගැනත්, ඉදිරිපත් කරන්න පුලුවන් යෝජනා පිළිබඳවත් එහි සඳහන් වෙනවා. අපි අවධානය යොමු කරන්නේ මේ යාන්ත්‍රණය සම්බන්ධව. දැන් ආණ්ඩුව යෝජනා කරලා තියෙන්නේ අංශ 4 ක් නේ. මා එය මෙයට පෙරත් ඔබට පැවසුවා මා හිතන්නේ. නමුත් ජනතාව කියනවා නම් නෑ එයට වඩා වැඩි දෙයක් කරන්න ඕනේ, විකල්ප යෝජනා, අංශ තියෙනවා කියලා ඒවත් ඉදිරිපත් කරන්න පුලුවන්. මේ හැම දෙයක්ම අවසානයේ අපේ වාර්තාවට අපි ඇතුළත් කරනවා.

ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් නිකුත් කළ අතුරු වාර්තාවේ පැහැදිලිව දක්වා තිබෙනවා OMP පනත යටතේ පිහිටුවන අතුරුදහන්වුවන් පිළිබඳ විමර්ශන කාර්යාලයට අභිචෝදක බලතල (Prosecutorial Powers) තිබිය යුතු යැයි ජනතාව ඉල්ලා සිටිය බව. නමුත් ඔබලා විසින් අගෝස්තු 21 වැනිදා නිකුත් කර තිබෙන ප්‍රවෘත්ති නිවේදනයේ මේ කියන අභිචෝදක බලතල නැතිකම පිළිබඳව කිසිවක් සඳහන් නොකර ආණ්ඩුව ගැන ප්‍රශංසාත්මකව පමණක් අදහස් දක්වා ඇත්තේ ඇයි?

සරවනමුත්තු : කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ජනතාව අපිට ඉදිරිපත් කරපු තොරතුරු යෝජනා ඉදිරිපත් කළේ හුගක් තරහෙන් සහ කණගාටුවෙන් කියන එක. හැබැයි ඒ හැම දේත් එක්කම ලොකු බලාපොරොත්තුවකුත් ඔවුන්ට තිබුණා. දෙවනුව දැන් ආණ්ඩුව පොරොන්දුවෙලා තියෙන්නේ යාන්ත්‍රණ 4 ක් ඇති කරන්නනේ. ඉතාම වැදගත් දේ තමයි ඒ යාන්ත්‍රණ 4 අතර තියෙන සම්බන්ධතාවය. ආණ්ඩුව කියන්නේ නෑ අපි මේවට නඩු දානව කියලා. මම දන්න හැටියට සහ මට තේරේන විදිහට ආණ්ඩුව කියන්නේ හැම දේකටම නඩු දාන්න යන්නේ නෑ කියලනේ. නඩු දාන යාන්ත්‍රණ වෙනම තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව තියෙනවා, පොලිසිය තියෙනවා. ඒවා භාවිතා කරන්න පුළුවන්. එහෙම නැතුව හැම යාන්ත්‍රණයකටම නඩු පැවරීමේ බලය දුන්නොත් එ්වයේ ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.

දෙවැනි කාරණාව මෙයයි. ඔබ කළිනුත් නඩු පැවරුමක් ගැන ඇහුවනේ. දැන් විශේෂ තත්ත්වයන් යටතේ නඩු පවරන ක්‍රමවේදයන් ඇති කළ හැකියි. දැන් අර යුධ අපරාධ සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවන්න යනවනේ. එක දෙයක් අපි තේරුම් ගන්න ඕනේ. මේ හැම දෙයකම අවසානයේ ආණ්ඩුවට තමයි වගකීම පැවරිලා තියෙන්නේ. අපි මේවා පිළිගන්නවද එහෙම නැත්නම් ප්‍රතික්‍ෂේප කරනවාද කියන ඒක ආණ්ඩුවේ වගකීමක්. ඒගොල්ලනට ඒකට අයිතියකුත් තියෙනවා වගේම තමයි අපිට ඒ ගැන තේරුම්කරලා දෙන එකත් එගොල්ලන්ගේ වගකීමක්. ඒ කියන්නේ ආණ්ඩුව ජනතාවට කියන්න ඕනේ ඇයි අපි මේක ගත්තේ, ඇයි දැන් ප්‍රතික්‍ෂේප කරන්නේ කියලා.

ජනතාවට කතා කරන කොට ඒ අය හැමෝම එකම දේ කියන්නේ නෑ. එක්කෙනෙක් එකක් කියන කොට තව කෙනෙක් කියන්නේ එයට වෙනස් එකක්. හැබැයි අපේ වගකීම - ඒ කියන්නේ කාර්ය සාධක බලකායේ වගකීම - තමයි ඒ හැම දේම ඒ ආකාරයෙන්ම වාර්තා කරන එකයි, රජයට ඉදිරිපත් කරන එකයි. ආණ්ඩුවේ වගකීම එයින් වැදගත් දේ තෝරාගන්න එක. මෙහෙම කරන්න විවාදයක් පවත්වන්න පුලුවන්. නමුත් වින්දිතයන්ට පැහැදිලිකර දෙන්න ඕනේ තමන්ගේ යෝජනා ප්‍රතික්‍ෂේප කිරීමට බලපෑ හේතු මොනවාද කියලා. අවසානයේ තීරණය කිරීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටනේ. අරක කරන්න, මේක කරන්න කියලා සිවිල් සමාජයට පුලුවන් බලපෑම් කරන්න. නමුත් ප්‍රජාතන්ත්‍රීය සමාජයක නීති හදන්නේ පාර්ලිමේන්තුවයි කියන එකත් මතක තියාගන්න අවශ්‍යයි.

ඔබ කියනවා මෙම ක්‍රියාවලියේ අවසාන තීන්දුව ගැනීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුව සතුව බව. මේ වන විටත් අගමැති සහ ජනාධිපති ප්‍රමුඛ රජය පමණක් නොවෙයි, සමස්ත පාර්ලිමේන්තුවම කියන එකක් තමයි කිසිම හමුදා සෙබලෙකුට එරෙහිව දේශීයව හෝ විදේශීයව දඩුවම් පමුණුවන්න කවර හෝ ඉඩක් දෙන්නේ නෑ කියන එක. ඒ වගේම, බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝණයන් සහ යුධ අපරාධ පිළිබඳ චෝදනා ලත් හමුදා නිලධාරින් තවදුරටත් සක්‍රිය හමුදා සේවය තබා ගැනීමටත්, විදෙස් දූත සේවාවන්ට පත් කිරිමටත් රජය කටයුතු කරනු ලැබුවා. එවැනි පුර්ව ආකල්ප සහිතව ක්‍රියා කරන රජයක් විසින් පත්කරන මෙවන් නාමික ආයතනයන් මගින් යුක්තියක් බලාපොරොත්තු විය හැකි ද යන සැකයට සාධාරණ පදනමක් තියෙනවා නේද?

සරවනමුත්තු: ඔව්! ඒක හරි. ඒ වගේම ඕනෙම කෙනෙකුට එහෙම කියන්නත් පුලුවන්. නමුත් උත්තර ලැබෙන්නේ මේක ක්‍රියාත්මක කරන්න යනකොට. නැත්නම් ඉතින් මිනිස්සුන්ට තර්ක ඉදිරිපත් කරන්න පුලුවන්නේ. මේක දේශීය විනිසුරන්, දේශීය උසාවි මගින් කරන්න පුලුවන්, විදේශීය විනිසුරන් ගෙනත් කරන්න ඕනේ නෑ, අපේ ස්වාධීනත්වයට ලොකු බලපෑමක් කියලා ආණ්ඩුවට කියන්න පුලුවන් බව ඇත්ත. හැබැයි ඒ උසාවිය ස්වාධීන විදිහට වැඩ කරන්නේ නැත්නම් කිසි විශ්වාසයක් ගොඩ නගන්න බැහැ. මම කියන්නේ මේ ආණ්ඩුවේ දේශපාලන පරිසරය වෙනස්. ඒ ගොල්ලන්ගේ තර්කය ඉතින් අපි යහපාලන පිළිවෙතට අනුව හැසිරෙනවා කියලානේ. ඒ අනුව මිනිස්සුන්ගේ බලාපොරොත්තු විශ්වාසයකට පෙරලන එක ඒ ගොල්ලන්ගේ වැඩක්. ඒක කරන්න නම් ස්වාධීනව කටයුතු කරන්න වෙනවා. අර මම කළින් කිවුවා වගේ ප්‍රජාතන්ත්‍රීය සමාජයක නීති පාර්ලිමේන්තුවෙන් හෙදනකොට අපි දේශපාලන පක්ෂවලට බලපෑම් කරන්න ඕනේ මේවා සම්බ්න්ධව තර්ක විතර්ක ඉදිරිපත් කරන්න. අවශ්‍ය සංශෝධන ගෙන්න කියලා. නමුත් මේ පනතට එහෙම කෙරුවේ නෑනේ. දවස් දෙකහමාරක් විතර මේක සම්බන්ධයෙන් විවාද කරන්න කාලේ වෙන් කරලා තිබ්බා. නමුත් සම්මත වුනේ පැයකින්. දැන් ඉතින් සම්මතවෙලා ඉවරයි. ඒ වුණත් ඔබ කියන විදිහටම මිනිසුන්ට සැක තියෙනවා. ඒ සැකය නැති කරන්න නම් විමර්ශනයෙන් විමර්ශනයට හරියට වැඩකරලා පෙන්නන්න අවශ්‍යයි. අතුරුදහන්වීම් කියන්නේ මේ රටේ තියෙන විශාල ප්‍රශ්නයක්. පළමුවතාවට දැන් ඒවා ගැන වැඩ කරන්න ආයතනයක් තියෙනවා. ඉතින් අපි බලමු වැඩ කරලා. මම කියන්නේ ඒකයි.

ඒ වගේම අපි පිළිගන්නවා මේ වැඩේ කරනවා නම් වින්දිතයන්ට තමයි ප්‍රමුඛතාවය දෙන්න අවශ්‍ය කියලා. කාර්ය සාධක බලකාය හැටියට අපි ඒ අයගේ තොරතුරු එකතු කරලා වාර්තාවක් දෙනවා. ඊට පස්සේ අපේ කාර්යය අහෝසි වෙනවා. ඉන් පස්සේ අපිට තියෙන්නෙත් සිවිල් සමාජයට තියෙන වගකීමම තමයි. සමහර අය කැමති නෑ නඩු දාන්න. නමුත් සමහර අයට ඒක අත්‍යවශ්‍යයි. ඒ වගවීම අවශ්‍යයි.ඉතින් සාක්ෂි තියෙනවනම් නඩු දාලා වැරදිකරුවන්ට දඩුවම් කරන්න අවශ්‍යයි. අනිවාර්යෙන්ම ඒක විය යුතුයි. හැබැයි හරියට ප්‍රමාණවත් තරමින් සාක්ෂි තියෙන්න ඕනි.

ඇතැම් මුලාශ්‍රවලට සහ අප සතු තොරතුරුවලට අනුව ඔබලාගේ අතුරු වාර්තාව නිකුත් කරන්නට පෙර එම ලියවිල්ල කියවා අදහස් පළ කරන්නට කලාපීය කාර්ය සාධක බලකායන්වල නියෝජිතයන්ට අවස්ථාවක් ලබා දී නැහැ. නමුත්, උතුරු පළාතේ ප්‍රවිචාරණ කටයුතු සිදුකරමින් තිබෙන කාලයේදි කාර්ය සාධක බලකාය පැහැදිලි පොරොන්දුවක් දී තිබෙනවා අතුරු වාර්තාව නිකුත් කරන්නේ මහජන අදහස් විමසීමේ යෙදි සිටින කලාපීය කලාප සාධක බලකායන් නියෝජනය කරන නියෝජිතයන්ට මෙම වාර්තාව පළමුවෙන් ලබාදී ඔවුන්ගේ අදහස්ද සැළකිල්ලට ලබා ගෙන බවට. එම පොරොන්දු කඩකර කඩිනමින් මෙම අතුරු වාර්තාව නිකුත් කරනු ලැබුවේ කුමක් නිසාද?

සරවනමුත්තු: කලාපීය බලකායවල් ඒ ගොල්ලන්ගේ සාකච්ඡා පටන් ගන්න කළින් අපිට ලිඛිත තොරතුරු ලැබුණා යම්, යම් සිද්දි සම්බන්ධයෙන්. ඉතින් ආණ්ඩුව අපෙන් ඇහුවා ඔයාලට මොනවද ලැබිලා තියෙන්නේ අතුරුදහන් අය ගැන කියලා. අපිට ලැබී තිබුණු තොරතුරු ගැන අපි යම් අදහසක් ප්‍රකාශ කෙරුවත් අපි පැහැදිලිවම කිවුවා මේ ක්‍රමවේදයට අපි අකමැති බව. දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ හරියට ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්නම් අපි මේකට සම්බන්ධ නොවි ඉන්න එකයි. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් යහපත් ප්‍රතිඵල ටිකක් හරි ලැබෙන්න පුලුවන්. ඉතින් අපි කිවුවා 'හරි කමක් නෑ හැබැයි මේ තොරතුරු එක්ක විතරක් පනත හදන්නේ නැතුව, කරුණාකරලා වින්දිතයන් එක්ක කතා කරන්න' කියලා.

දකුණු පළාතේ පවත්වනු ලැබු සාක්ෂි විමසීම්වලදි හෝ තොරතුරු රැස් කිරීම්වලදි එම පළාත්වලට අදාල යම් විශේෂිත තොරතුරු හෝ පැමිණිළි කාර්ය සාධක බලකාය වෙත ලැබුණද? එසේ ලැබුණා නම් ඒ කවර මට්ටමෙ හි එවාද කියන එක ගැන යම් පැහැදිළි කිරිමක් කළ හැකිද?

සරවනමුත්තු: දකුණු පළාතේ පැවති සෑම හමුවකටම මම සහභාගි වුණේ නෑ. නමුත් මට මතකයි මාතර පැවති හමුවට දෙසියයකට වැඩි පිරිසක් ඇවිත් හිටියා.ඒ අය ගොඩක් තොරතුරු දුන්නේ '88 සහ '89 කාලයට අදාළව. මට නම් හිතෙන්නේ වින්දිතයෝ හැටියට ගත්තාම උතුරු නැගෙනහිරත් දකුණේත් වින්දිතයන් අතර වෙනසක් නෑ කියලායි. සමස්තයක් වශයෙන් දකුණේ දහසකට වැඩි පැමිණිලි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. නමුත් ඒ සියල්ල ගැන අදහසක් මට කියන්න බැරි ඒවා හැම එකක්ම තවම මම කියවලා නැති නිසා.

ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ලේකම්වරයා ලෙස කටයුතු කිරිමට පෙර ඔබ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස මෙවැනිම කටයුතු සඳහා යම් මැදිහත්වීමක් සිදුකළ අයෙක්. එවැනි තත්ත්වයකදි පකාර්ය සාධක බලකායේ ව්‍යුහය සහ එහි ක්‍රියාකාරිත්වය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද? සෑහීමකට පත් නොවන්නේ නම් ඒ කුමන අංග ගැනද?

සරවනමුත්තු: මගේ අදහස මේ පොදු සාකච්ඡාව අත්‍යවශ්‍ය එකක්. නමුත් අවසාන වාර්තාව ඉදිරිපත් කරන්න කළින් මම කැමති නෑ මගේ පෞද්ගලික මතය කියන්න. මම ඒකේ ලේකම්. ඒ නිසා එහෙම කියන එක හරි නැහැනේ. හැබැයි මට එක දෙයක් කියන්න පුලුවන්. සංහිඳයාව ගොඩ නගන්න නම් වින්දිතයන් එක්ක, ජනතාවත් එක්ක කතා කරන එක වැදගත්. ඒක කළ යුතුමයි. හැමෝම කියන එක කරන්නත් බැරි වෙයි. අඩුපාඩු තිනෙවා. සියයට, සියයක් සාර්ථක නැති වුණත් යමක් කරන එක වැදගත් කියලයි මම හිතන්නේ.

© JDS