Saturday, 17 November 2018
ළමා ලෝකයෙන් පිටමං කළ ළමා දිනය කොයිබටද?

ළමා ලෝකයෙන් පිටමං කළ ළමා දිනය කොයිබටද? Featured

ඔක්‌තෝබර් 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙනි

අද සමාජමය වශයෙන් ගත්කල දරුවන්ගෙන් තොර ලෝකය, උදාසීන ලෝකයක්‌ වන අතර එය නීරස ලෝකයක්‌ බවට ද පත් වේ. නිතරම දරුවන්, ලෝකය ලස්‌සන කරති. බබලවති. අප සියලු දෙනාම යම්කිසි කාලයක්‌ දරුවන් සේ ගත කර ඇති අතර අද වන විට වැඩිහිටියන් බවට පත් වී තිබේ. මේ නිසා ඔබ අප සියලු දෙනාම ළමා ලෝකයේ සුන්දරත්වය අත්විඳ ඇති බවට නො අනුමානය.

නමුත් ශ්‍රී ලංකාවේ දැනට පවතින ප්‍රධාන වාර්තා පරීක්‍ෂා කිරීමේදී පැහැදිලිව ම පෙනෙන දෙයක්‌ වන්නේ, නාගරික ප්‍රදේශවලින්, පාසල් යන වයසේ පසවන දුගීභාවයෙන් පෙළෙන දරුවන් සීග්‍රයෙන් පාසලෙන් ඇද හැලීමකට ලක්‌වන බවයි. මෙම තත්ත්වය අනාගත ලෝකය සම්බන්ධයෙන් ඉතාමත් ම ශෝකජනක තත්ත්වයක්‌ උදා කරයි. වර්තමාන දරුවා අධ්‍යාපනයෙන් ගිලිහෙනවා යනු, ඔහු සමස්‌ත ප්‍රජාවටම අනාගතයේ දී මහත් ගැටලුවක්‌ වන බැවිනි. එයිනුත් විශේෂයෙන් ම අඩු ආදායම්ලාභී නාගරික ප්‍රදේශවලින් මෙම තත්ත්වය තවත් හොඳින් පෙනෙනු ඇත. මේ සඳහා කුමන හේතු සාධක බලපාන්නේ ද? මෙම තත්ත්වයට වගකිව යුත්තෝ කවරහුද? මෙම දරුවන්ගේ අනාගත ලෝකයේ වගකීම් භාර ගන්නෝ කවුරුද? යනාදී වශයෙන් පිළිතුරු සෙවීමට පවා අපහසු ගැටලු උද්ගත වේ.

ලෝක ළමා දිනය යෙදී ඇති ඔක්‌තෝම්බර් 01 වන දින මුළු මහත් විශ්වය පුරාම ජීවත් වන දරුවන්ගේ සමාජ සුබසාධනය වෙනුවෙන් කැප කර තිබේ. එසේ ම මෙම දිනය ලොව පුරා ජීවත් වන බොහෝ දරුවනට විරුද්ධව පැනනගින ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වය, පාසල් ප්‍රචණ්‌ඩත්වය, මෙන්ම සමාජමය වශයෙන් පැනනගින සමාජ ප්‍රචණ්‌ඩත්වය වැනි සංසිද්ධීන් අවම කර ගැනීමේ අදිටනින් සමරනු ලැබේ. උදාහරණ වශයෙන් එක්‌සත් ජාතීන්ගේ 2014 වාර්තාවලට අනුව ලොව පුරා ජීවත් වන මිලියනකට වඩා අධික ළමයින්ට ප්‍රකාශයට පත් නොවූ විවිධ වර්ගයේ, විවිධ මට්‌ටමේ ප්‍රචණ්‌ඩත්වය ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන්ම ලොව පුරා අධික දරිද්‍රතාවයෙන් පෙළෙන තුන්වන ලෝකයේ රටවල නිර්ධනය පංතික බොහෝ දරුවන් ධනපති පංතියේ නිවාසවල ගෘහ මෙහෙකාරකම්වලට යොදාගෙන තිබේ. මෙම තත්ත්වය ඉන්දියාව, පාකිස්‌ථානය මෙන්ම බංගලාදේශය වැනි රටවල ද කැපී පෙනෙන තත්ත්වයක්‌ බවට පත් වී තිබේ. එසේම මේ ආකාරයෙන් ම ධනේෂ්වර පංතියේ ගෘහස්‌ථයන් වල මෙහෙකාරකම් වල නිරතවන අහිංසක නිර්ධන පංතික දරුවන් ඇතැම් අවස්‌ථාවල ලිංගික අපයෝජනයන්ට පවා ලක්‌ වන බව ද නොරහසකි. නමුත් ඔවුන්ගේ අසරණකම් මත මෙම තත්වයන් යටපත් වී ඇති අතර, වැඩිහිටි සමාජය මගින් මෙම තත්ත්වයන් නොසලකා සිටීමේ ප්‍රවනතාවයක්‌ ද පවතී. මෙම තත්වය අතිශයෙන්ම ෙ€දවාචකයකි.

මෙහිලා විශේෂයෙන් ම කිවයුතු කාරණයක්‌ වන්නේ, නාගරික දරිද්‍රතාවය මෙම ගැටලුව හා තදින් බැඳී පවතින බවයි. එදා ආහාර වේල සපයා ගැනීමට නොහැකි දෙමාපියන් තම දරුවන්ගේ කුසගිනි නිවීම සඳහා කුමන වැඩපිළිවෙළකට යන්නේ ද? මේ සම්බන්ධයෙන් පිළිතුරු සොයා යාමේ දී දරිද්‍රතාවයෙන් පෙළෙන අහිංසක දෙමාපියන් තම දරුවන් ලවා යම් මුදලක්‌ සපයා ගැනීමේ අරමුණින් නීති විරෝධී රැකියාවල පවා දරුවෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව යොදවති. මුදලට ගිජු අහිංසක හය හතර නොතේරෙන දරුවන් ඔවුන් අධ්‍යාපනය ලැබිය යුතු කාලය තුළ රැකියාවල නිරත වීමට යැම නිසා පාසල් කාලය මුළුමනින්ම ගිලිහෙන බව නොරහසකි. මේ නිසා බුද්ධිය නොවැඩී ශරීරිකව පමණක්‌ වර්ධනය වන දරුවන් පසු කාලයේ දී නීති විරෝධී

රැකියාවල නිරතවනවාට අමතරව සමාජය අපේක්‍ෂා නොකරන සමාජ අපගාමීන් බවට පත්වේ.

විශේෂයෙන්ම අධ්‍යාපනය ලබාගැනීමේ අරමුණින් පාසලට පැමිණෙන දරුවන්ගේ ළමා අයිතිවාසිකම් පාසල් පද්ධතිය තුළදීම කොපමණ ප්‍රමාණයකින් වැඩිහිටි ගුරුවරුන්ගේ අතින් උල්ලංඝනයවේද? අධ්‍යාපනයේ පරමාර්ථ අතර මුඛය පරමාර්ථය වන්නේ දරුවාගේ ළමා පෞරුෂත්වය සමාජයට හිතකර අයුරින් මැනවින් හැඩගස්‌සවාලීමයි. ප්‍රකට අධ්‍යාපනඥයකු වූ බෙන්ජබින් බ්ලුම් විසින් පැහැදිලි කර දෙනු ලැබූ ආකාරයට දරුවාගේ පෞරුෂත්වය ප්‍රජාණන, ආවේදනික සහ මනෝවාලක ක්‍රියාවලින්ගෙන් පරිපූර්ණ ආකාරයට වර්ධනය කිරීම පාසල් පද්ධතිය මගින් බලාපොරොත්තුවේ. එය අද ඉටුවේද? ඉටුවේ නම් කොපමණ ප්‍රමාණයකින් ද? මඳක්‌ සිතා බලන්න. විෂය නිර්දේශවල පෘථුලත්වය නිසාම එය ආවරණය කිරීම පිළිබඳව විවිධ ගැටලුවලට මුහුණපාන ගුරුභවතුන් අද ළමයාගේ විෂය දැනුම වර්ධනය කරනවා මිස ළමා පෞරුෂත්වය වඩාත් ඔපමට්‌ටම් කිරීම කෙරෙහි අවධානය යොමු වන්නේ ඉතා අඩු මට්‌ටමින්ය. අප ඉගෙනගත් පාසලට වඩා අද දරුවන් ඉගෙනගන්නා පාසල අතිශයෙන්ම වෙනස්‌ය. සංකීර්ණය. දරුවන් පවා යාන්ත්‍රිකත්වයට භාජනය වී තිබේ. දරුවන්ගේ සිත්පිත් තුළින් ආදරය, කරුණාව දයාව ගිලිහී ගොස්‌ ඇත. ඒ වෙනුවට ඔවුන්ගේ හදවත් තුළට කිඳාබැස ඇත්තේ දැඩි ආත්මාර්ථකාමී අදහස්‌ය.

අද දරුවන් නෑදැයන් හඳුනන්නේ නැත. නැදෑ ගෙවල්වලට යන්නේ ද නැත. නැදෑයෙකු ගෙදර පැමිණිය ද තම පාඩම්වලට යෙදෙනවා මිස තම කාමරයෙන් පිටතට පැමිණෙන්නේ ද නැත. පන්සලකට යන්නේ ද නැත. මේ නිසා දරුවන් මුළු මහත් සමාජයෙන්ම පරාරෝපණය (හුදකලා) වී ඇත. මෙම තත්ත්වය අතිශයෙන්ම හානිකර තත්වයකි. මේ නිසා අද දිනය දරුවන්ටම වෙන් වී ඇති බැවින් එවැනි තත්වයන් කෙරෙහි අවධානය යොමු කිරීම වැඩිහිටි අප සැමගේම පරම යුතුකමක්‌ වන්නේය. විශේෂයෙන්ම ගුරුවරුන් අතින් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන විට ශිෂ්‍යාවන්ගේ සිත්වලින් පාසලට ඇති ආදරය අඩුවන අතර ගුරුවරයාගෙන් දුරස්‌වීමට පවා මෙම තත්වය හේතුවනු ඇත.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය තුළ දරුවාට තම මතය ඉදිරිපත් කිරීමට අයිතියක්‌ පවතී. විශේෂයෙන් ම දෙමාපියන් වැඩිහිටියන් හෝ ගුරුවරුන් විසින් ළමයින් පිළිබඳව විවිධ ගැටලුකාරී තත්ත්වයන් තුළ දී ළමයින් පිළිබඳව තීරණ ගැනීමේ දී ඒ පිළිබඳව ළමයින්ට ද තම මතය ඉදිරිපත් කිරීමට අයිතියක්‌ පවතී. ඒ පිළිබඳව වැඩිහිටියන් වන අප විසින් විශේෂ අවධානය යොමු කළ යුතු ය. එසේ ම ළමයාගේ කායික වර්ධනය මෙන් ම මානසික වර්ධනය පිළිබඳව ද දෙමවුපියන් දෙදෙනාම වගකීම් දැරිය යුතුයි. සෑමවිටම දරුවා වැරදි පාරේ යනවා නම් ඔහුට හෝ ඇයට නිසි මගට ගැනීමට දෙමාපියන් නිරන්තරයෙන් බැඳී සිටී.

දරුවන්ට දඬුවම් දීමේ දී එය හුදෙක්‌ ම කායික දඬුවම් මෙන් ම මානසික දඬුවම් ද විය හැකි ය. නමුත් මෙහිලා විශේෂයෙන් ම අවධාරණය කළ යුත්තේ කායික දඬුවමට වඩා හුදෙක්‌ මානසික දඬුවම වඩා දරුණු විය හැකි බවය. කායික දඬුවම් පැමිණවීම නිසා කායික වේදනාව හා තුවාල ඇතිවිය හැකි අතර දරුවා ලැඡ්ජාවට හා අවමානයට පත්වීම ද සිදුවේ. මීට අමතර ව අතුරුඵලයක්‌ ලෙස සාංකාව, ද්වේශය සහ වෛරය දරුවා තුළ ඇති කරයි. එසේ ම කුඩා කළ මෙවැනි උපද්‍රවවලට නතුවන දරුවන් බහුතරය වැඩිහිටියන් වූ පසුව සාමජ අපගාමී චර්යාවන්ට උරුමකම් කියන පුද්ගලයන් බවට පත්වේ. එසේ ම ඔවුන් වැඩිහිටියන් වූ පසුව තම දරුවන්ට ද ශාරීරිකව හා මානසිකව නොයකුත් වධහිංසා පමුණුවන්නන් බවට පත්වේ. මේ අතර ඇතැම් පුද්ගලයන් මානසික රෝගීන් බවට පත්වන අතර, ඇතැම් පුද්ගලයන් සමාජ අපගාමී ක්‍රියාවලට පත්වීම, සමාජ ප්‍රචණ්‌ඩත්වයට පත්වීම නිසා ඔවුන්ගේ අවසානය බොහෝ විට සිරගෙදරින් හමාර වේ.

කිසියම් අවස්‌ථාවක දරුවකු වරදක්‌ කළ විට ඔහුව හෝ ඇයව සමච්චලයට ලක්‌ කිරීමෙන් වැළකිය යුතුය. මනෝ විද්‍යාවට අනුව බලන විට සමච්චලටය ලක්‌ කිරීමෙන් සිදුවන්නේ හුදෙක්‌ ම දැඩි මානසික කම්පනයකට පත්වීමෙන් එය පසුකාලීනව දරුවාගේ පෞරුෂත්වය කෙරෙහි ණාත්මක බලපෑම් ඇති කරන බව ය. මේ පිළිබඳව මනෝවිද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ් පවා ඔහුගේ ග්‍රන්ථවල පැහැදිලි කර ඇත. සෑම ළමයකුටම තමාගේ පෞද්ගලිකත්වය රැක ගැනීමට අයිතියක්‌ ඇත. මේ නිසා ළමයාගේ පෞද්ගලිකත්වයට හානි නොවන අයුරින් අප හැසිරිය යුතු ය.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය දෙස අවධානය යොමු කිරීමේ තවත් zවැදගත් ම සාධකයක්‌ වන්නේ, ළමයාගේ ලෙඩ දුක්‌ පිළිබඳව නොසලකා හැරීම යි. අද ශ්‍රී ලංකාවේ ජීවන වියදම දිනෙන් දින වැඩි වන නිසා ශ්‍රී ලංකාවේ වැඩිහිටි සමාජයේ වැඩි පිරිසකට තම සේවා මුරයට අමතරව, අතිකාල දීමනා ලබා ගැනීමේ අරමුණින් සවස 4න් පසුව පවා තම කාර්යාලයේ වැඩ කිරීමට සිදු වී ඇත. මෙහි දී යම්කිසි මුදලක්‌ තම වැටුපට එකතු වුවද තම දරුවන්ගේ ඕනෑ එපාකම් ලෙඩ දුක්‌ යනාදිය පිළිබඳව සොයා බැලීමට වේලාවක්‌ ඉතිරි වන්නේ නැත. මෙහි භයානක ප්‍රතිඵලය වන්නේ තම දූ දරුවන්ගේ අසනීප තත්ත්වය නොසලකා හැරීම නිසා එම රෝග කාරකත්වයන් දිනෙන් දිනම උත්සන්න වීමයි. මෙම තත්ත්වය නිසා දරුවන් පීඩාවට පත් වන අතර ඔවුන්ගේ මූලික ළමා අයිතිවාසිකමක්‌ උල්ලංඝනය වීම ද සිදුවේ. මෙම තත්ත්වයන් නාගරික සමාජවල නිර්ධන පන්තික පවුල්වල වැඩි වශයෙන් දක්‌නට ලැබෙන අතර, මධ්‍යම පාන්තික සමාජ පරිසරවල පවතින පවුල්වල ද දක්‌නට ලැබේ.

ළමා අයිතිවාසිකම් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මීළඟට වැදගත්ම සාධකය වන්නේ යම් යම් කරුණුවලදී ළමයාගේ ආත්ම විශ්වාසය පළුදු වන ආකාරයට කටයුතු කිරීමෙන් වැළකීම යි. අද සමාජය සංකීර්ණ බවින් පිරිපුන් නිසා ළමයින්ගේ චර්යාවන් පිළිබඳව සොයා බැලීමට දෙමාපියන්ට වේලාවක්‌ නැත. මින් ප්‍රයෝජන ගන්නා අහිංසක දරුවන් සමාජ සම්මතයට පටහැනි සමාජ ක්‍රියාවල නිරත වීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන් අන් අය ඉදිරියේ සමච්චලයට වැඩිහිටි සමාජයෙන්ම ලක්‌ කෙරෙන මෙම තත්ත්වය භයානක ය. මන්දයත් මානසික පීඩනය දරුණු වීම නිසා මානසික සමබරතාව බිඳවැටී මානසික වශයෙන් අසහනකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බැවිනි. මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මේ නිසා කළ යුත්තේ දරුවන් මේ වැරදි කළේ කුමන හේතු නිසා දැයි සොයා බලා එම හේතු කාරකයන් නැති කර දැමීම ය.

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලාංකික වැඩිහිටියන් වන අප ළමයින්ට ඇහුම්කන් නොදීම ඔවුන්ගේ මූලික ළමා අයිතිවාසිකම් කඩවීමකට පත් වී ඇත. මේ නිසා සිදුවිය යුත්තේ දිනයේ පැය 24 න් අවම තරමේ පැය 10 ක්‌ වත් තම දරුවන්ගේ ඇසුරේ ගත කරමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් තේරුම් ගෙන ඔවුන්ට ඉතා ඕනෑකමින් සවන් දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු වන පරිදි ක්‍රියා කිරීම ය. එවිට ඔවුන්ගේ ලෝකය ලස්‌සන වන අතර, ළමා කාලය සුන්දර ළමා කාලයක්‌ බවට පත් වේ.

රසික බාලසූරිය

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය