Sunday, 26 September 2021
යාපනයේ මානවවාදී නාට්‍යකරුවා

යාපනයේ මානවවාදී නාට්‍යකරුවා Featured

මේ ආචාර්ය එම් සන්මුගලිංගම්. කුලන්දෙයි සන්මුගලිංගම් කියලත් ඔහුව හඳුන්වනවා. ඒ දෙමළ ළමා නාට්‍ය කලාවට ඔහු කළ සේවය අගය කිරිමක් ලෙසිනුයි. ආචාර්ය සන්මුගලිංගම් ලාංකේය දෙමළ නාට්‍ය කලාවේ නොමැකෙන සටහනක් තැබූ පුද්ගලයෙක්. ඔහුගේ සුවිශේෂිත්වය වන්නේ අධ්‍යාපනික නාට්‍ය සම්ප්‍රදායක් යාපනයට උරුම කර දුන් නිසයි. 1978දී ඔහු යාපනයේ දරුවන්ට නොමිලයේ නාට්‍ය හා රංගකලා පාසලක් ආරම්භ කළා.

බෝලවත්ත දෙමළ විද්‍යාලයෙන් හා යාපනය හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද සන්මුගලිංගම් මදුරාසි විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකරගෙන යාපනයේ පාසල් ගුරුවරයකු ලෙස සේවය කළා. 1977දී ඔහු කොළඹට එන්නේ නාට්‍ය හා රංගකලාව පිළිබඳව හදාරන්නටයි. එවිට ඔහුගේ වයස අවුරුදු 44ක්.

නාට්‍යකරණයට අමතරව ඔහු අමරදේවයන්ගෙන් සංගීතයද හැදෑරුවා. ඔහු යාපනයේ ආරම්භ කරන ලද නාට්‍ය පාසල උදෑසන 6.30ට ආරම්භ වී අවසන් වුනේ රාත්‍රි 10ටයි. ඒ කාලය තුල විවිධ සිසුන් ඔහුගෙන් අධ්‍යාපනය ලැබුවා. ඔහු මේ සියල්ල කළේ නොමිලයේ. ඔහුගේ නාට්‍ය පාසලට බොහෝ දුරබැහැර සිට පවා සිසුන් පැමිණි හෙයින් හිමිදිරියේ සිට රාත්‍රිය වන තෙක් පාසල පැවැත්වීමට ඔහුට සිදුවුණා.

ඔහු නිර්මාණය කළ පළමු ළමා නාට්‍යය සඳහා උත්තේජකයක් වූයේ සත්තුන්ගේ පුංචි ගෙදර නම් නාටකයයි. එල්ටීටීඊයේ ක්‍රිියාකාරකම් ඇරඹීමත් සමඟ ඔහුගේ නාට්‍ය පාසලද වැසී ගියා. නූතන ප්‍රබුද්ධ නාට්‍ය කලාවේ විවිධ ඉසව් යාපනයේ දෙමළ ප්‍රජාවට හඳුන්වා දුන්නේ ආචාර්ය සන්මුගලිංගම් විසින්. ඔහු පෙරදිග හා අපරදිග නාට්‍ය රැසක් දෙමළ බසට පරිවර්තනය කොට යාපනයේ රඟදක්වනු ලැබුවා. ඔහු නිර්මාණය කළ නාට්‍ය අතර මන් සුමයින්තා මෙනියර්,(භූමියේ බර දැරූ අය) අන්නයි ඉට්ට දී (මව් ඇවිලූ ගිනි) එන්තායුම් නායුම් (මගේ මාවත) වැනි නාට්‍ය ඉතා විශිෂ්ට නාට්‍ය ලෙස බොහෝ විචාරකයන් විසින් හැඳින්වුවා.

දෙමළ නාටකයට ඔහු විසින් කරන ලද සේවය අගය කරනු වස් නැගෙනහිර විශ්වවිද්‍යාල ඔහුට ආචාර්ය උපාධියක් පිරිනැමුව අතර ඔහු එම ආචාර්ය පට්ටමට එතරම් කැමති නැහැ. ආචාර්ය සන්මුගලිංගම් අපට සුවිශේෂි වන්නේ සටන් පැවති පුරවරයක දිවි ගෙවමින් සටනට සම්බන්ධ දෙපිරිසෙන්ම බැටකමින් වුවද තම මව්බිම අතහැර නොගොස් උතුරේ දුවා දරුවන්ගේ හදවත් සෞන්දර්යයෙන් පුරවන්නට ඔහු කළ කැපකිරීම නිසයි. යාපනයේ තිරුනෙල්වේලියේ ආඩියපාදම් මාවතේ පිහිටි ඔහුගේ නිවෙසේ ඔහු සමග ගත කළ පැය කිහිපය මට සදානුස්මරණීය වන්නේ එනිසයි.

Priyanjan Suresh De Silvaපි‍්‍රයන්ජන් සුරේෂ් ද සිල්වා

 

Last modified on Wednesday, 27 July 2016 13:30