Tuesday, 19 January 2021
ස්ටාර් වෝස් නළුවාට ගුවන් අනතුරකින් තුවාල

ස්ටාර් වෝස් නළුවාට ගුවන් අනතුරකින් තුවාල

සුප්‍රකට ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ හන් සෝලෝ චරිතයට පණපෙවූ හොලිවුඩ් නළු හැරිසන් ෆෝඩ් ගුවන් අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ.

ෆෝඩ් යනු දක්ෂ ගුවන් නියෙමුවෙකු ද වන අතර, ඊයේ දිනයේදී (05) ඔහු තමාට අයත් පැරණු ගුවන් යානය වන කහ පැහැති 1942 Ryan Aeronautical ST3KR යානයෙන් ගුවන් ගතවී ඇත.

කැලිෆෝනියා ප්‍රාන්තයේ සාන්ත මොනිකා මහනගර සභා ගුවන්තොටෙන් ගුවන්ගතවී අඩි 3,000ක් ඉහළට ගමන් කිරීමෙන් අනතුරුව ඔහුගේ යානයේ එන්ජිම අක්‍රීය වී තිබේ.

මේ සමගම ප්‍රදේශයේ නිවෙස් මගහැර ගොල්ෆ් පිටියකට යානය හදිසියේ ම ගොඩබැස්වීමට ෆෝඩ් සමත් වී ඇති බවත්, මෙම අනතුරෙන් සුළු තුවාල ලැබූ ෆෝඩ් රෝහල්ගත කර ඇති බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

ෆෝඩ් රඟපාන සිවුවැනි ස්ටාර් වෝස් චිත්‍රපටය වන ස්ටාර් වෝස් : ද ෆෝස් අවේකන්ස් චිත්‍රපටිය එළැඹෙන දෙසැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතය.

පසුගිය ජූලි මාසයේදීද මෙම චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුරදී ෆෝඩ් ගේ පාදය කැඩුනු බවට වාර්තා විය.