Wednesday, 20 October 2021
IMF ණය දෙන්න යුවානුත් ගනියි

IMF ණය දෙන්න යුවානුත් ගනියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ණය ආධාර ලබාදෙන මුදල් වර්ග වලට චීනයේ යුවාන් ද එක්කරගෙන ඇතැයි වාර්තා වේ.

Special drawing rights (SDR) වෙත මෙලෙස යුවාන් එකතුකරගෙන ඇත්තේ පසුගිය සෙනසුරාදා දිනයේදී ය.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම සිදුවීම චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසින් වසර 1949 දී චීනය ජනරජය ලෙස ස්ථාපිත කිරීම සමරන දිනයේදී ම සිදුවීමයි.

මේ දක්වා IMF ණය ආධාර ලබාදෙන මුදල් වර්ග වලට මේ දක්වා අයත්ව තිබුනේ ඇමෙරිකානු ඩොලරය, යුරෝ, යෙන් හා බ්‍රිතාන්‍ය පවුම පමණි.

වසර 1999 දී යූරෝ එළිදැක්වීමෙන් අනතුරුව නව මුදල් වර්ගයක් ඇතුළත් කර ගත් පළමු අවස්ථාව මෙයයි.

යුවානය, ජනතාවගේ මුදල් යන තේරුමෙන් රෙන්මින්බි නමින්ද හැඳින්වේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් චීනයේ මහජන බැංකුව පවසා ඇත්තේ යුවානය ජාත්‍යයන්තර වීමේ ගමන තුළ මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන බවයි.

මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ආර්ථික ප්‍රතිසංස්කරණ තවදුරටත් සිදුකිරීමටත් ගෝලීය වර්ධනය වැඩිදියුණු කරගැනීමට එම ක්ෂේත්‍රය වඩා විවෘත කිරීමටත් චීනය කටයුතු කරන බව එහි වැඩිදුරටත් දැක්වේ.

යුවානය, SDR වෙත එක්කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගිය වසරේදී නිවේදනය කර තිබුණු හෙයින් එය පසුගියදා SDR වෙත ඇතුළත් කිරීම මගින් මූල්‍ය වෙළඳපොලට බලපෑමක් ඇති නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(රොයිටර්ස් ඇසුරෙනි)

Last modified on Tuesday, 04 October 2016 08:26