Monday, 09 December 2019
ඇපල් බදු තීන්දුවට ඇමෙරිකාවෙන් විරෝධය

ඇපල් බදු තීන්දුවට ඇමෙරිකාවෙන් විරෝධය

අයර්ලන්තය විසින් බදුමුදල් ලෙස ඇපල් සමාගමෙන් යුරෝ බිලියන 13 ක් දක්වා වූ මුදලක් අයකරගත යුතු බවට යුරෝපා කොමිසම විසින් ලබා දුන් තීන්දුව ඇමෙරිකාව තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.

තෙවසරක් මුළුල්ලේ පවත්වන ලද පරීක්ෂණයකින් අනතුරුව යුරෝපා කොමිසම තීන්දු කර තිබුනේ අයර්ලන්තය විසින් ලබා දී ඇති බදු සහන නීති විරෝධී බවයි.

යුරෝපා සංගමයේ සාමාජිකයෙකු වශයෙන් තෝරාගත් සමාගම් වලට බදු සහන ලබාදීම යුරෝපා සංගමයේ නීතිරීති වලට පටහැනි බවට යුරෝපා කොමිසමේ කොමසාරිස්වරිය පවසා තිබේ.

මෙම බදු සහනය හේතුවෙන් ඇපල් සමාගම අයර්ලන්තයේදී ගෙවා තිබෙන්නේ සියයට එකක බදු ප්‍රතිශතයක් බව යුරෝපා කොමිසම සඳහන් කරයි.

කෙසේ වෙතත්, යුරෝපා කොමිසමේ තීන්දුව සමඟ එකඟ නොවන බවය පවසන ඇපල් සමාගම හා අයර්ලන්තය පවසා ඇත්තේ මීට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු භාණ්ඩාගාරය පවසා ඇත්තේ මෙවැනි බදු පරීක්ෂණ අසාධාරණ බවත් එමගින් එක් එක් රට වල ඇති බදු නීති හෑල්ලුවට ලක්කරන බවත්ය.

මීට අමතරව, මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ධවල මන්දිරය පවසා ඇත්තේ මෙම තීන්දුව ඇමෙරිකාවේ බදුගෙවන ජනතාවට ද බලපාන බවයි.

Last modified on Thursday, 01 September 2016 08:24